top of page

වේගයේ රැජිනගේ නොසැලෙන ආගමනය

  • Writer: Chathura Ranasinghe
    Chathura Ranasinghe
  • May 6
  • 2 min read

ලොව ජීවත්ව සිටින වේගවත්ම කාන්තාව ලෙස කිරුළු පැළඳි එලයින් තොම්සන්-හේරා (Elaine Thompson-Herah) යනු ධෛර්යයේ සැබෑ සලකුණකි. ඇයගේ ගමන රන් පදක්කම්වලින් පමණක් නොව, වේදනාව සහ ඉන් නැවත නැඟී සිටීම පිළිබඳ ප්‍රබල කතාවකින් පිරී පවතී.

ඔලිම්පික් ආධිපත්‍යය: ඉතිහාසය අලුත් කිරීම

එලයින් ලෝක අවධානය දිනාගත්තේ 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී මීටර් 100 සහ 200 රන් පදක්කම් ද්විත්වයම දිනාගනිමින් "Double Sprint" ජයග්‍රහණයක් වාර්තා කරමිනි. එතැනින් නොනැවතුණු ඇය 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී (2020 පැවැත්වීමට තිබූ) එම රන් පදක්කම් දෙකම ආරක්ෂා කරගනිමින්, ඔලිම්පික් ඉතිහාසයේ එම දක්ෂතාව පිට පිට දෙවතාවක් කළ පළමු කාන්තාව බවට පත් විය.

• ඇයගේ වේගවත්ම කාලය: 2021 වසරේදී යුජින්හි පැවති තරඟයකදී ඇය මීටර් 100 ඉසව්ව තත්පර 10.54 කින් නිමා කරමින් ඉතිහාසයේ දෙවන වේගවත්ම කාන්තාව බවට පත් විය. (ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්ට පමණක් දෙවැනි වෙමින් -10.49WR).

ආබාධවල අඳුරු සෙවනැලි (2018 - 2019)

2016 සාර්ථකත්වයෙන් පසු ඇයට සිය වෘත්තීය ජීවිතයේ දරුණුතම කාල පරිච්ඡේදයට මුහුණ දීමට සිදු විය. 2018 සහ 2019 වසරවලදී ඇයගේ දකුණු කකුලේ විලුඹේ (Achilles tendon) ඇති වූ ආබාධය නිසා ඇයට බොහෝ තරඟ මඟ හැරුණු අතර, ක්‍රීඩා පිටියෙන් ඇය "කැපී ගිය" බවට විවේචන එල්ල විය. 2019 ලෝක ශූරතාවලියේදී ඇයට පදක්කමක් දිනා ගැනීමට පවා නොහැකි වූයේ මෙම දැඩි වේදනාව නිසාය.

පොදුරාජ්‍ය මණ්ඩලීය නැවත පැමිණීම (2022)

බොහෝ දෙනා ඇයව අමතක කරද්දී, ඇය නිහඬවම පුහුණුවීම් කළාය. එහි ප්‍රතිඵලය වූයේ 2022 අගෝස්තු මාසයේදී බර්මින්හැම්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලයි. එහිදී:

• මීටර් 100: රන් පදක්කම (තත්පර 10.95)

• මීටර් 200: රන් පදක්කම (තත්පර 22.02)

• මීටර් 4x100: රිදී පදක්කම

වසර කිහිපයක් පීඩා විඳි ආබාධවලින් පසු ඇය ලබාගත් මෙම ජයග්‍රහණය, ඇය තවමත් "ධාවන පථයේ රැජින" බව ලෝකයටම තහවුරු කළේය.

අද ඇය නැවතත් ලෝක සහය දිවීමේ තරඟාවලිය (World Relays) හරහා ජැමෙයිකානු කණ්ඩායම බලගන්වමින් සිටින්නේ 2028 LA ඔලිම්පික් ඉලක්කය පෙරදැරි කරගෙනය.

මේ ලොව බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩිකාවන් අතර ඉහළින්ම වැජඹෙන ක්‍රීඩිකාවක බව පැවසිය යුතුමය.

එලයින්ගේ ගමන අපට කියා දෙන්නේ වැටීම ස්වාභාවික බවත්, නමුත් නැවත නැඟිටීම තේරීමක් බවත්ය. 2018 දී ආබාධයකින් බිම වැටුණු ඇය, 2021 දී ලොව වේගවත්ම කාලය වාර්තා කර 2022 දී පොදුරාජ්‍ය මණ්ඩලය ජය ගත්තේ අත්නොහරින උත්සාහය නිසාමය.

“වේගයෙන්ම දිවීමට නම්, සමහර විට ඔබට මඳක් නැවතී හුස්ම ගැනීමටත්, වේදනාව ඉවසා සිටීමටත් සිදු වනු ඇත.”

- චතුර රණසිංහ -

 
 
 

Comments


bottom of page